(මනෝප්‍රිය ගුණසේකර)

ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයගෙන් පසුවු ඩේසි ෆොරස්ට් මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ අධිකරණ සෑහිමකට පත්වන බවට නඩු ගොනුවේ සටහනක් නොමැති බවත් නඩුවේ තුන්වන විත්තිකාරිය ඩේසි ෆොරස්ට් මහත්මියගේ බූදලය කළමනාකරණයට නම් කර තිබුණත් බූදලයේ විස්තරයක් නඩු ගොනුවේ සඳහන්ව නොමැති බවත් ඇගේ නිශ්චල, චංචල දේපල හෝ මුදල් පිළිබඳ කිසිඳු ලැයිස්තුවක් නඩු ගොනුවේ හෝ නියෝගයේ ඇතුළත්ව නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් සාක්කි දුන් අධිකරණය ලිපිකරු සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙමින් එසේ කී සෙනරත් බණ්ඩාර මහතා ඩේසි ෆොරස්ට් මහත්මියගේ දේපල සම්බන්ධව නුගේගොඩ දිසා අධිකරණයේ විභාග වු නඩුව සම්බන්ධයෙන් නුගේගොඩ හිටපු දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා 2017 මාර්තු 15 වැනිදා නියෝගයක් දි ඇතැයිද කීය.

රුපියල් කෝටි 7 ලක්‍ෂ 30කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය” පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා වෙනුවෙන් සාක්කි දුන් එම අධිකරණයේ ලිපිකරුවකු වන සෙනරත් බණ්ඩාර මහතා සාක්කි දෙමින් නුගේගොඩ දිසා අධිකරණයේ ඩේසී ෆොරස්ට් නමැත්තියගේ දේපළ සම්බන්ධයෙන් විභාග වූ නඩුවක මුල් ගොනුව අධිකරණයට ඉදිරිපත් කරමින් සාක්කි දුන්නේය.

ඩේසි ෆොරස්ට් නමැත්තියකගේ දේපල සම්බන්ධයෙන් නුගේගොඩ දිසා අධිකරණයේ නඩුවක් විභාග වී ඇති බවත් එම නඩුවට අදාළව නුගේගොඩ හිටපු දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා 2017 මාර්තු 15 වැනිදා නියෝගයක් දි ඇති බවත් ඩේසි ෆොරස්ට් නමැත්තිගේ බූදලය කළමනාකරණය කිරීමට එම නඩුවේ තුන්වෙනි විත්තිකාරිය නියෝගයෙන් නම් කර ඇති බවත් සෙනරත් බණ්ඩාර මහතා පැවසීය.